විසංයෝජනය පාඨමාලාව
ඩෙරීඩාගේ Plato's Pharmacy සමීපව කියවීම.
ජාක් ඩෙරීඩාගේ "Plato's Pharmacy" නම් රචනය සාමූහිකව කියවන අධ්‍යයන කවය මේ සෙනසුරාදා (අගෝස්තු පළමුවැනිදා) ආරම්භ වෙයි. මෙහි අරමුණ වන්නේ, ඉතාම සරලව, ජාක් ඩෙරීඩා නම් ප්‍රංශ ජාතික දාර්ශනිකයාට (වඩාත් නිවැරදිව කියන්නේ නම් ප්‍රති-දාර්ශනිකයාට) හැඳින්වීමක් ලබා දීමයි.
90 දශකය පුරා ඩෙරීඩා සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රකට හැඳින්වීම් අපේ රටේ තිබෙනවා කියා අපි දනිමු. දීප්ති කුමාර ගුණරත්නගේ "කලාව සහ විසංයෝජනය" කෘතියේ සිට මේ සම්බන්ධයෙන් 'ප්‍රවාද', 'මාතොට', 'London' ආදී සඟරාවල ඔහු ලියා ඇති ලිපි, නලින් ස්වාරිස්ගේ "ඩෙරීඩාගේ විසංයෝජනය සහ බුදුන්ගේ අනත්තවාදය සමාජ විවේචනය ලෙස" නම් රචනය, තරමක් වෙනස් ලෙස වුවත් රොහාන් පෙරේරාගේ "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරීඩා විසංයෝජනය කළ විට" රචනය, ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි, සසංක පෙරේරා, සමන් වික්‍රමාරච්චි, කේ. කේ. සමන් කුමාර, නලින් ද සිල්වා වැනි අයගේ විවිධ ලිවීම් මේ අතරට දැමිය හැකිය.
නමුත් අප කරන්න යන්නේ මේ දිගු 'ඩෙරීඩා හැඳින්වීමේ' ලැයිස්තුවට තවත් එක් හැඳින්වීමක් එකතු කිරීම නොවේ. ඒ වෙනුවට අප කරන්න යන්නේ මෙයට පෙර කිසිවකු නොකළ දෙයකි. ඒ ඩෙරීඩා සාමූහිකව සහ සමීපව කියවීමයි. අප උත්සාහ කරන්නේ ඩෙරීඩියානු විසංයෝජනය යන්න සිංහල භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කිරීමටයි. වෙනත් ආකාරයකට කියන්නේනම් අප උත්සාහ කරන්නේ "ඩෙරීඩාට අනුව අනන්‍යතාවයන්ට වඩා වෙනස්කම් ප්‍රාථමික වේ..." වැනි සාරාංශ ඉදිරිපත් කිරීමට නොවේ. ඒ වෙනුවට අප උත්සාහ කරන්නේ ඩෙරීඩාගේ සෞත්‍රික රචනයක් වාක්‍යයෙන් වාක්‍යයට විදාරණය කිරීමටයි. එනිසා මේ මගින් ඩෙරීඩා කියවීම නම් අත්දැකීම ලැබීමට ඉඩ සකස් කෙරෙනු ඇත.
මෙය අතිශය අභියෝගාත්මක වන්නේ 'කියවීම' යනු ඩෙරීඩා ඉතා බැරෑරුම් ලෙස ගන්නා දෙයක් වන නිසාය. වසර ගණනක් පුරා අප දාර්ශනිකයන්ගේ අදහස් සිංහලෙන් ගොනු කිරීමට යොදාගෙන ඇති ක්‍රමය මෙහිදී තියුණු ලෙස පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත. මෙය කිසිදු අයුරකින් 'ජනප්‍රිය ව්‍යාපෘතියක්' නොවන්නේ මේ නිසාය. මෙය කාලයක් ගත වන දුෂ්කර අභ්‍යාසයකි. නමුත් එවැන්නක් වෙනුවෙන් උනන්දු ඕනෑම කෙනෙකුට මෙයට සහභාගී විය හැකිය. මේ සඳහා අපගේ දේශපාලනික මෙන්ම දාර්ශනික ස්ථාවර සමග එකඟ වීමක් අවශ්‍ය නොවේ. විවිධ හේතු නිසා ඩෙරීඩා පිළිබඳව ඉහළ මට්ටමේ අවබෝධයක් ලැබීමට උනන්දු ඕනෑම කෙනෙකුට මෙයට සහභාගී විය හැකිය. හැදෑරීමට කැමති සියලු දෙනා හට මෙය හා එක්වන්න කියා අප ආරාධනා කරන්නේ මේ නිසාය.
කේ. කේ. සමන් කුමාර ප්‍රකට ලෙස ඩෙරීඩියානු විසංයෝජනය නම් කළේ 'මැජික් පොල්ලක්' ලෙසයි. අපේ අවංක අදහස අනුව මේ හැඳින්වීම තවමත් අඩුවැඩි වශයෙන් වලංගු වෙයි. තවමත් 'ඩෙරීඩා' සහ 'විසංයෝජනය' යනු අපේ රටේ බොහෝ දෙනෙකුට මැජික් පොල්ලකි. මේ මැජික් එක කරන්නේ කොහොමද කියල දැන ගන්න ඕනෙනම් සෑම සෙනසුරාදාකම උදෑසන 10.30 ට පැවැත්වෙන අපේ ඩෙරීඩා කියවීමට සම්බන්ධ වීමට කොළඹ මහවැලි කේන්ද්‍රයට එන්න.

- කාලසීමාව
- මාස 6
- ආකාරය
- සජීවී රැස්වීම
- ආරම්භය
- 2026 අගෝස්තු 01 · සෙනසුරාදා, උදෑසන 10.30 සිට 12.30 දක්වා
- ස්ථානය
- Mahaweli Centre, Colombo 07
- ලියාපදිංචි ගාස්තුව
- රු. 5,000 (මාසිකව)