කොළඹ දර්ශන ගුරුකුලය ගැන
ඉතාම රළු ප්‍රායෝගික දෘෂ්ඨිකෝණයෙන් ගත්විට දර්ශනය ඉගැනීම යනුවෙන් අදහස් කරන දෙය මෙසේ සාරාංශ කළ හැකිය. දර්ශනය ඉගෙන ගැනීම යනු දර්ශනයේ ඉතිහාසය ඉගෙන ගැනීමයි. දර්ශනයේ ඉතිහාසය ඉගෙන ගැනීම යනු එහි එන විවිධාකාර දර්ශනවාදයන් ඉගෙන ගැනීමයි. දර්ශනවාදයන් ඉගෙන ගැනීම යනු ඒවා බිහි කළ චින්තකයන් ගේ සිතීමට අභිමුඛ වීමයි. එම චින්තකයන්ගේ සිතීමට අභිමුඛ වීම යනු ඒවා ලියවී ඇති පොත් හැදෑරීමයි.
එම අර්ථයෙන් දර්ශනය ඉගෙන ගැනීමේ වැදගත්ම ශ්‍රම මොහොත වන්නේ දර්ශනවාදයන් ලියැවී ඇති පොත්පත් හැදෑරීමයි. දර්ශනය ඉගෙන ගැනීමේ දී 'ප්‍රාථමික ග්‍රන්ථ' කියවීම ප්‍රමුඛ වන්නේ මේ නිසාය. 'ප්‍රාථමික ග්‍රන්ථ' යනු කිසියම් දර්ශනවාදයක් ගොඩනැගු චින්තකයන් විසින්ම එම දර්ශනවාදය හඳුන්වා දෙමින් සම්පාදනය කරන ලද පොත් පත් ය. මේ අනුව 'ද්වීතියික ග්‍රන්ථ' යනු මෙවැනි දර්ශනවාදයන් හඳුන්වා දෙමින් පසුකාලීන අර්ථකථනකරුවන් ලියන පොත් පත් ය. ද්වීතියික ග්‍රන්ථ වලට වඩා ප්‍රාථමික ග්‍රන්ථ කියවීම ප්‍රමුඛ වන්නේ එමගින් අපට එම නිශ්චිත දර්ශනවාදය ඉදිරිපත් කළ චින්තකයාගේ 'සිතීම' එහි මුල් ආකෘතියෙන් අප වෙත අභිමුඛ වන නිසාය. එම සිතීමේ අත්‍යන්ත සෞන්දර්යය හමුවන්නේ මෙතැන දී ය.
ඒ ආකාරයට 'සිතීමට' අපගේ ආශාව ඉපදෙන්නේ මෙම ලක්ෂ්‍යයේ දී ය. දර්ශනය ව්‍යවහාර කරනවා යනු මෙවැනි සිතීමක් ගොඩනැගීමට ගන්නා නොනිමි අරගලයකි. එමගින් අපට පැවැත්ම යනු කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමට බල කරයි. නමුත් එලෙස හඳුනා ගන්නා පැවැත්ම හමුවේ මනුෂ්‍යයන් ලෙස අපට තනිවමත් සාමූහිකවත් කළ හැක්කේ කුමක්ද යන ප්‍රශ්නය එහිදී අපට අභිමුඛ වෙයි. දර්ශනය සත්භාවවේදයෙන් (ontology) ආරම්භ වී ආචාරධර්මවාදයෙන් (ethics) අවසන් වන්නේ මෙම නිසාය. පැවැත්ම යනු කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමේ සැබෑ අර්ථය වන්නේ මෙයයි. එමගින් අපට මනුෂ්‍යයන් ලෙස කළ හැකි දේ කුමක්ද කියා තීරණය කළ හැකිය. යහපත යනු කුමක්ද කියා සිතා බැලිය හැකිය. එනිසාම එය යහපත් ජීවිතයක් වෙනුවෙන් අපට මග පෙන්වීමක් කරයි.
විභාග කර නොබැලූ ජීවිතයක් ගත කිරීමෙහි තේරුමක් නොමැති වනවා (an unexamined life is not worth living) කියා සොක්‍රටීස් කියන්නේ මෙම නිසාය. දර්ශනය අපව යොමු කරවන්නේ නිරන්තරයෙන් අපගේම ජීවිත විභාග කර බැලීමටයි. එනිසාම එය අපට සමාජයේ අධිපති අදහස් ප්‍රශ්න කිරීමට බල කරයි. පොත්පත් හැදෑරීමේ දාර්ශනික ශ්‍රමය ඵල දරන්නේ මෙතැනදීය. එනිසාම දර්ශනය යනු සමාජය පහළ සිට ඉහළට වෙනස් කරන මතවාදී අරගලයක් ද වෙයි.
සිතීමක සෞන්දර්ය විඳගැනීමේ සිට සමාජ පරිවර්තන දක්වා — Colombo School of Philosophy යනු මේ වෙනුවෙන් කැප වුනු ලාංකික වැඩබිමකි.
අපේ ඉතිහාසය
අවිධිමත් කුඩා අධ්‍යයන කවයක් ලෙස අපගේ ගමන ආරම්භ වන්නේ 2012 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේදීය. එහි අරමුණ වූයේ 1990 දශකයේ ආධිපත්‍යයට පැමිණි දර්ශනවාදයන් ඉක්මවූ නව දාර්ශනික සිතීමක් අපේ රටට හඳුන්වා දීමයි. පශ්චාත්නූතනවාදී යුගයේදී ආධිපත්‍යයට පැමිණි ඩෙරීඩා, ෆූකෝ ආදී චින්තකයන් වෙනුවාට් 21 වෙනි සියවසේදී ලෝකයේ සංවාදයට පත් වූ නව භෞතිකවාදයන් සහ යථාර්ථවාදයන් අපේ රටේ සංවාදයට ගැනීම අපගේ ඉලක්කය විය.
වසරකින් පමණ මෙය තරමක් විධිමත් වූයේ එකල ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති "Digital Film Academy" එක යටතේ මෙය නව ආරකින් සංවිධානය වීමත් සමගයි. සිනමාව පිළිබඳව දාර්ශනික කියවීම්ද අපේ අධ්‍යයනයට එකතු වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. 'කලාව' අපේ සංවාදයේ කේන්ද්‍රීය තේමාවක් වූයේ මෙතැන් සිටයි.
ඒ සමගම රෙනේ ඩෙකාට්ගේ "Meditations" කෘතියත් මාටින් හෛඩගර්ගේ "Being and Time" කෘතියත් සමීපව කියවීම ආරම්භ කළේ මෙහිදීය. මෙවැනි කෘති සිංහලෙන් කියවීම සඳහා නව ආකෘතියක් නිර්මාණය කරගැනීමට අපට එහිදී ඉඩ ලැබුණි. මුල් කෘතිය ඍජුව සිංහලට පරිවර්තනය කිරීම කියවීමට අපහසු ලියවිල්ලක් නිර්මාණය කරනවා කියා දැනුනු හෙයින් අප උත්සාහ කළේ මුල් ලියවිල්ලේ එන සෑම වැකියක්ම පැහැදිලි කරන ද්විතියික ලියවිල්ලක් සකස් කිරීමටයි. මෙය අර්ථකථනයක් බව පැහැදිලි වුවත් එමගින් මුල් ලියවිල්ලට වඩාත් සමීප මෙන්ම පහසුවෙන් කියවිය හැකි ලියවිල්ලක් සකස් වන බව පැහැදිලි විය. එතැන් පටන් අපගේ අධ්‍යයනයන් මේ නව ආකෘතියෙන් ඉදිරියට ගොස් තිබේ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සිට අපගේ මීළඟ නවාතැන වූයේ තීර්ථ කලා පාසලයි. හෛඩගර්ගේ කෘතිය අවසාන කරමින් ඉන් පසුව අප කාන්ට්ගේ "Critique of Pure Reason" කෘතිය සඳහා ඒ ආකාරයේ සමීප කියවීමක් ආරම්භ කළේ මෙහිදීය. කාන්ට්ට අමතර ඩෙරීඩා, ජිජැක්, බදියු ආදී විවිධ අධ්‍යයනයන් මෙහිදී අප සිදු කර තිබේ.
කොවිඩ් වසංගතයේ 'සූම්කරණයට' පසුව අප අවසානයේදී Colombo School of Philosophy ලෙස නිල වශයෙන් සංවිධානය වන්නේ 2024දීය. දර්ශනය ජීවන ව්‍යවහාරයක් ලෙස ගෙන ඒමට ගන්නා අපගේ උත්සාහය දැන් වඩාත් විධිමත්ව ඉදිරියට යමින් තිබේ. එක් අතකින් අප පෙන්වා දීමට උත්සාහ කරන්නේ විසිවෙනි සියවසේ අවසානයේ ආධිපත්‍යයට පැමිණි ප්‍රති-දාර්ශනිකයන්ගේ අදහස්වල සීමාවයි. අනෙක් පසින් අප නව දාර්ශනික සිතීමක අවශ්‍යතාවය පෙන්වා දීමට උත්සාහ කරමින් තිබේ. නමුත් මේ සියල්ලට වඩා අප උත්සාහ කරන්නේ දාර්ශනික සිතීමක් නිරාවරණය කරගැනීමේ අත්‍යන්ත සතුට පෙන්වා දීමටයි. විභාග කර බැලූ ජීවිතයක් ගෙන එනු ඇත්තේ සතුටකි. දර්ශනයේ අති මූලික පණිවුඩය මෙයයි.
කොළඹ ගුරුකුලයේ ප්‍රංශ මූලයන්
පහතින් තිබෙන්නේ "Paletten" සඟරාව සමග මෙයසූ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටාගත් කොටසක සිංහල පරිවර්තනයයි. මෙය අපට වැදගත් වන්නේ "90 දශකයෙන් ඔබ්බට" යන අපගේ සටන්පාඨය පසුබිමේ තිබෙනා ඓතිහාසික අත්දැකීම් මේ මගින් පැහැදිලි කරනා නිසාය. අපේ මූලික යෝජනාව වන්නේ 90 දශකයේ එකිනකාට එරෙහි වූ සහ සමහර අවස්ථාවන්හිදී දරුණු ලෙස ගැටුම් ඇති කරගත් මෙරට බුද්ධිමතුන් — රොහාන් පෙරේරා, දීප්ති කුමාර ගුණරත්න, නලින් ද සිල්වා, අර්ජුන පරාක්‍රම, සුනිල් විජේසිරිවර්ධන, සසංක පෙරේරා, නලින් ස්වාරිස් ආදී — බොහෝ දෙනෙකුගේ වෙනස්කම් යටින් දිවෙන මූලික එකඟවයන් තිබෙනා බවයි. එය ආරම්භ වන්නේම 'කොමියුනිස්ට්වාදය' වැනි අවසාන විමුක්තියක් මිනිසා වෙත ලැබිය නොහැකි වනවා යන ස්ථාවරයෙනි. අවම වශයෙන් එවැනි විමුක්තියක් අපට දැනුමින් ග්‍රහණය කරගත හැකි වනවා කියා එකල කිසිවෙකු සිතුවේ නැත. මෙම යුගයේ 'යුක්තියේ දේශපාලනය' අතිශය ගැටලුකාරී එකක් වන්නේ මේ නිසාය. එය අපට පරාජිතයාගේ විමුක්තිවාදයක් කියා නම් කළ හැකිය. එම යුගයේ පොදු සිතීමේ මූලික චරිතස්වභාවයන් අතරින් වැදගත් දේ කීපයක් මෙහිදී මෙයසූ අතින් පැහැදිලි කෙරෙයි.
සින්සියානා රවිනි: මම ඔබගෙන් ප්‍රශ්න කීපයක් අහන්නම්. අපිට පුළුවන් එතන ඉඳල සංවාදය නිදහසේ ඉදිරියට අරන් යන්න. මගේ පළමු ප්‍රශ්නය සම්බන්ධ වෙන්නේ ඔබ ගැන තියෙන හැඟීමකට. මට හිතෙනවා ඔබ එක්තරා ආකාරයක පාරභෞතික විද්‍යාත්මක රහස්පරීක්ෂකවරයෙක් කියල. මේ රහස්පරීක්ෂකවරයා උත්සාහ කරන්නේ බටහිර දර්ශනයේ නොවිසිඳුණු විමර්ශන විසඳලා දාන්න. මට තේරෙන ආකාරයට ඔබ උත්සාහ කරන්නේ අනාගතය ගැන, ඉදිරියේදී එන්න නියමිත ලෝකය ගැන පාරභෞතික විද්‍යාවක් නිර්මාණය කරන්න. ඔබගේ දාර්ශනික සොයාගැනීම් ගැන මට යමක් කියන්න.
කොන්ටෙන් මෙයසූ: මගේ අරමුණ වුනේ මම ශිෂ්‍යයෙක් ලෙස සිටින සමයේ හොඳින් ස්ථාපිතව තිබුණු එක්තරා තර්කනයකින් ගැලවීම. ඒකෙන් සිදුකලේ සියලු ආකාරයේ පද්ධති සහ පාරභෞතික විද්‍යාවන් ප්‍රතික්ෂේප කිරීම. ඒවා හඳුනා ගැනුනේ ආධානග්‍රාහී දේවල් සහ එනිසාම ප්‍රචණ්ඩ දේවල් විදියට. සියලු ආකාරයේ සත්‍යයන් වෙනුවෙන් පෙනී සිටි සිතීමේ ව්‍යාපෘති හඳුනා ගැනුනේ අපරාධ විදියට. සියලු සත්‍යයන් ප්‍රචණ්ඩ දේවල් වුනා. මට තරමක් අතිශයෝක්තියට නංවන්න අවසර දෙනවනම්, 20 වෙනි සියවසේ මහා අපරාධ සියල්ල හඳුනා ගැනුනේ පාරභෞතික විද්‍යාව, දර්ශනය, ඉතිහාසය සහ මනුෂ්‍ය පැවැත්ම විසින් මතු කරන ලද ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් කියල ගැනීමේ ප්‍රතිඵලයක් විදියට. සමස්තකරණයට විරුද්ධ පශ්චාත්නූතනවාදී සිතීම් මගින් පාරභෞතික විද්‍යාත්මක සත්‍යයන් හඳුනා ගැනුනේ මරණය ගෙන එන පද්ධතියක් බවට තාක්ෂනය සහ දේශපාලනය පත්කිරීමේ අනුප්‍රාණය විදියට. ඒක උත්සාහ කළේ පරිසරයා සහ මනුෂ්‍යයන් මත බල ආධිපත්‍යය පැතිරවීම කියල හිතුනා.
රවිනි: මේක අඩෝනෝගේ අනුප්‍රාණයෙන් මතු වුනු අදහසක් නේද? නූතනත්වය අනිවාර්යයෙන් මරණය ගෙන එන පද්දතියක් දක්වා ගමන් කරනවා කියන එක?
මෙයසූ: ඇත්තටම මේක පුළුල් ලෙස පැතිරුණු අදහසක්. මේක විවිධ ගුරුකුල මගින් නියෝජනය වෙනවා. මේක එම යුගයේ තිබුණු පොදු සාරය. මේක නිශ්චිතව අල්වා ගන්න එක ලේසි නැහැ. නමුත් මේක අපිට අල්ල ගන්න පුළුවන් නිල අනුමැතිය තියෙන වචන අදහස් මගින්. මේ වගේ අදහස් උච්චාරණය කිරීමෙන් ඔබට මහජන අවකාශයේ පොදු පිළිගැනීමක් එනවා. මේ අතරින් මට දරා ගන්න ඉතාම අපහසු වුනු අදහසක් තමයි "දර්ශනය උත්තර දෙන්නේ නැහැ ඒ වෙනුවට ප්‍රශ්නය නිවැරදිව වරනගනවා" කියන එක. තවමත් ව්‍යාප්ත වෙලා තියෙන මේ 'ගැටලුවේ කල්ට් එක' එහෙමත් නැත්නම් 'ප්‍රශ්නයේ කල්ට් එක' කියන්නේ මම විරුද්ධ වෙන එකක්. මේකට සරල හේතුව තමයි ගැටලු වලට වඩා උත්තර සිත්ගන්නාසුළු වීම. එහෙම වෙන්නේ උත්තර මගින් අපිට අලුත් ගැටලු ඇති කරන නිසා. ඔබට ගැටලුවක් ඇති වෙන්නේ ප්‍රශ්නයකට සාධනීය උත්තරයක් දුන්නට පස්සේ විතරයි.
මම එක නිදර්ශනයක් දෙන්නම්. ඩෙකාට් හොයා ගත්තා කොජිටෝව, 'මම සිතමි එනිසා මම පවතිමි' කියන එක, ඩෙකාට්ට අනුව පරම ලෙස සැකයට යටත් කරන්න බැරි සත්‍යයක් කියල. ඒ නිසාම එයාට අලුත් ගැටලු රාශියක් මතු වුනා. සැකයට යටත් කරන්න බැහැ කියල මම හිතන අනෙක් සත්‍යයන්ට වඩා කොහොමද කොජිටෝව සත්‍යයක් වෙන්නේ? දෙකයි දෙකයි එකතු කළාම හතරයි එහෙම නැත්තන් බාහිර ලෝකයක් පවතිනවා කියල මට නියතයි වගේ සත්‍යයන්ට වඩා මේක සැක කරන්න බැරි වෙන්නේ ඇයි? මේක විසඳන්න ඩෙකාට් කරන්නේ කල්පිත සැකයක් ගොඩනගන එක. ඒ සැකයෙන් සමත් වෙන්නේ කොජිටෝව පමණයි. මේක වෙනුවෙන් ඩෙකාට් ඉතාම ශක්තිමත් සැකයක් ගොඩනගනවා. කොජිටෝවේ සුවිශේෂත්වය නිරාවරණය කරන්න ඉඩ දෙන්නේ ඒ සැකයයි. ඒ අනුව කොජිටෝව කියන්නේ සැකයට යටත් නොවන සත්‍යය පිළිබඳව ගැටලුවට ලැබෙන විසඳුම. මේ අනුව සැක කිරීමේ පද්ධතියක් ගොඩනැගෙන්නේ ප්‍රතිචාරය මගින් ප්‍රතිචාර දක්වන්නේ කුමකටද කියල දැන ගැනීම නිසා. කොජිටෝව කියන්නේ මූලධාර්මිකව තහවුරු කිරීමක්. නමුත් තහවුරු කිරීමක් මගින් ප්‍රතිචාර දක්වන්නේ මොකකටද? ප්‍රතිචාරය මගින් ප්‍රතිචාර දක්වන්නේ මොකකටද කියල තේරුම් ගන්න කෙනෙකුට සිද්ධ වෙනවා එම ප්‍රතිචාරය වෙත අවසානයේ යන්නට ඉඩ දෙන ගැටලුකාරී සත්‍යයේ රෙජීමයක් (problematic truth-regime) ගොඩනගන්න.